කැවුම් පෙරේතයා
වේලාව රාත්‍රී 11.30 පසුවිය. රාත්‍රී 12.00 ලැබීමට තිබෙන්නේ තවත් විනාඩි 30ක් වැනි සුළු වේලාවකි. සුනිමල් තවමත් නිදි නැත. අද වෙනදා මෙන් නොව, මුළු නිවසේම දොර ජනේල විවෘතව තිබේ. උදේ සිට මහා රෑ වන තුරුත් නිවසේ එකම යුද්ධයකි. ඒ, හෙට වරුණ අයියාත්, රම්‍යා අක්කාත් අතිනත ගන්නා දවස නිසාය.
විවාහ මංගල්‍යයට අවශ්‍ය කරන කැවිලි පෙවිලි සෑදීමේ කටයුත්ත සිදු කෙරෙන්නෙ සුනිමල්ගේ නිවසෙනි. නිවස පුරාම කැවුම්, කොකිස්, මුං කැවුම් ආදී කැවිලි වර්ගවල සුවද හමයි. ආහාර පිසීමට සුනිමල්ගේ නිවසට පැමිණි නැන්දලා, පුංචිලා, ලොකු අම්මලා සියලු දෙනාම, මුළුතැන්ගේ විවිධ වැඩවල යෙදී සිටින අතරේ පිරිමි පක්ෂය නියෝජනය කරමින් නිවසේ රැදී සිටියේ සුනිමල්ගේ පියාත්, පොඩි මාමාත් පමණි.
විවාහ මංගල්‍යයට අවශ්‍ය කරන කැවිලි පෙවිලි සෑදීමේ කටයුත්ත සිදු කෙරෙන්නෙ සුනිමල්ගේ නිවසෙනි. නිවස පුරාම කැවුම්, කොකිස්, මුං කැවුම් ආදී කැවිලි වර්ගවල සුවද හමයි. ආහාර පිසීමට සුනිමල්ගේ නිවසට පැමිණි නැන්දලා, පුංචිලා, ලොකු අම්මලා සියලු දෙනාම, මුළුතැන්ගේ විවිධ වැඩවල යෙදී සිටින අතරේ පිරිමි පක්ෂය නියෝජනය කරමින් නිවසේ රැදී සිටියේ සුනිමල්ගේ පියාත්, පොඩි මාමාත් පමණි.
තෙල් කෑමවල කුසුඹ නිවස පුරාම පැතිරෙන්නට විය. සුනිමල්ටද ඉවසුම් නැති විය. සුනිමල් කෙමෙන් කෙමෙන් මුළුතැන්ගෙට ඇවිදන් යන්නට විය. ඒ, කැවුමක කොකිසක රස බැලීමේ චේතනාවෙනි. මුළුතැන්ගෙට ගියපු සුනිමල්ට, නැන්දාගෙන් කැවුමක් ලැබිණි. සුනිමල්ට හරි සතුටුය. සුනිමල්ගේ ඉහේ මලක් පිපිණි.
සුනිමල්ට දැන් මුත්‍රා බරය. සුනිමල් කැවුමේ රස විදිමින් මුළුතැන්ගේ සිට වැසිකිලියට ඇවිදින්නට පටන් ගත්තේය. වැසිකිලිය පිහිටා තිබෙන්නේ නිවසේ එහා කොනේය. සුනිමල් වැසිකිලියට කිට්ටු කරනවාත් සමගම, කිසියම් අයෙකු සුනිමල්ගේ පිටුපසින් පැමිණ, සුනිමල්ගේ පිටට වැරෙන් පහරක් ගැසුවේය. අකුණු සැරයක් තමන්ට වැදුනා මෙන් දැඩි වේදනාවක් ඇති වෙන්නට පටන් ගත් අතර ඒත් සමගම සුනිමල් පිටුපස හැරී බැලුවේය. එම අවස්ථාවේදී ඔහු දුටු දර්ශනයෙන් තවත් බියට පත්විය.
සුනිමල් දුටුවේ මෙතෙක් කවදාවත් දැක නැති ඉතාමත් කළු, බොහොම මිටි (කුරු), කටින් දත් ඉවතට පැමිණ තිබෙන, විරූපී අයෙක් තමන් දෙස බලා සිටින බවයි. එය ඉතාමත් පැහැදිලි දසුනකි.
සුනිමල් "බුදු අම්මෝ" කියමින් නිවසේ එහා අන්තයේ සිට මෙහා අන්තයටත්, මෙහා අන්තයේ සිට නිවසේ ඉස්තෝප්පුවටත්, ඇදහිය නොහැකි තරමේ විදුලි වේගයකින් දිව ගොස්, ඉස්තෝප්පුවේ ඇති වේදිකාවේ සිට පහළට පැන්නේය.
ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ සුනිමල්ගේ පොඩි මාමා, සුනිමල්ව අල්ලා ගත් අතර එසේ නොකරන්නට, සුනිමල්ගේ ඔළුව බිම වැදී, ඔළුව පැලෙන්නට තිබිණි. "පුතේ මොකද ඔහේට වුණේ?" යැයි සුනිමල්ගේ තාත්තා ප්‍රශ්න කරන විට, "යකෙක්. යකෙක්. කවුදෝ කෙනෙක් වැසිකිලිය ළග හිටියා. කළු, මිටි, විරූපී කෙනෙක්. ඌ මගේ පිටට හයියෙන් ගැහුවා. මාව බේරගන්න. හොදටම පිට රිදෙනවා. පිට පිච්චෙනවා වගේ" කියමින් ඒ මේ අත ඔළුව වනමින් සුනිමල් සිහිමුර්ජාවෙන් කියවන්නට ගත්තේය.
එම මොහොත වන විටත් නිවසේ මුළුතැන්ගේ සිටි කාන්තා සංහරයත් මිදුලට එකතු වී සිටි අතර සුනිමල්ව ඒ අයට භාරදී, සුනිමල්ගේ පියත්, පොඩි මාමාත්, සුනිමල් එම බියකරු දර්ශනය දුටු ස්ථානයට ගියෝය. නමුත් එතන කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. ඉන්පසුව දෙදෙනාම නිවසේ ඇතුළත්, පිටටත්, ගෙවත්තත් සෝදිසි කළෝය. ඒත් කිසිදු හෝඩුවාවක් නැත.
නැවතත් දෙදෙනාම සුනිමල් ළගට ගියෝය. සුනිමල් පෙර සේම, යම් යම් දේවල් මුමුනමින්, කෑ ගසමින්, ඔළුව ඒ මේ අත වනමින් සිටියි. සුනිමල්ගේ අම්මත්, ලොකු අම්මලා සහ නැන්දලත්, සුනිමල්ව තදින් අල්ලා ගසමින් සිටිති. "දනවා. දනවා. පිට හොදටම රිදෙනවා. පිට දනවා. ගිනි ගන්නවා"..... සුනිමල් නොනවත්වාම මොර දෙයි. "ඔය කොල්ලගෙ කමිසය ගලවලා බලනවා" සුනිමල්ගේ පියාගෙන් නියෝගයක් නිකුත් විය. සුනිමල්ගේ කමිසය ගැලවීමට ඉදිරිපත් වූයේ පොඩි මාමාය.
මහා පුදුමයකි. ගවයෙකුගේ කෙටූ පච්චයක් මෙන්, සුනිමල්ගේ පිටේ අත්ලක සටහනක් තිබේ. පිට ප්‍රදේශයේ අත්ල සටහන් වී ඇති ස්ථානය අධික ලෙස රත් පැහැයට හැරී තිබේ. සියලු දෙනාම පුදුමයෙන් සහ බියෙන් ඒ දෙස බලා සිටියෝය. එම මොහොතේ නිවසේ සිටියේද ඔවුන් කිහිප දෙනා පමණි. එසේ නම් මේ කියන කළු මිටි විරූපී කෙනා සහ අත්ලේ සටහන කාගේද? සියල්ලන්ටම ප්‍රශ්නයකි.
"කට්ටඩියෙක් ගේමු. වෙන කරන්න දෙයක් නෑ" කියමින් සුනිමල්ගේ පොඩි මාමා, එළියට බැස, මහා රෑම කට්ටඩියෙකු සෙවීමට පිටත් වූ අතර ස්වල්ප වේලාවකට පසුව කට්ටඩියෙකු සමග නිවසට පැමිණියේය.
සුනිමල් අසිහියෙන් දොඩවන්නට විය. මන්ත්‍ර කියමින්, සුනිමල් දෙසට ගිරය එල්ල කරමින් දෙහි කපන යක්දෙස්සා, ඉන්පසුව සුනිමල්ගේ බෙල්ලේ නූලක් ගැට ගැසුවේය. ඒත් සමගම සුනිමල්ගේ දෙඩවිල්ල යම් දුරකට සමනය වන්නට විය. |
"මේන් මේ පැන් ටික ගෙදර වටෙයි, වත්ත වටෙයි ඉහින්ට. කහ වතුරත් ඉහින්ට. ළමයව සම්පූර්ණයෙන්ම හොද කරන්න නම් තොවිලයක් කරන්නම වෙනවා. එහෙම නැතුව මේ දිෂ්ඨිය යවන්න බෑ. තව දවස් දෙකකින්, හොද දවසක් එනවා. එදාට වැඩේ කරමු. අවශ්‍ය කරන දේවල් ටික මම කියන්නම්. ඒ දවස වෙනකන් කිළිවලින් ගෙදර ආරක්ෂා කරන්ට ඕන. මස් මාංශ ගෙදරට ගේන්න එපා. තෙල් කෑම උයන එක දැන් නතර කරන්ට. මත් පැන්, දුම් වැටි ගේන්න එපා. ළමයව හොදට නාවලා පිරිසිදු කරන්න. උදේ හවහා පිරිත් කියන්ට. දවස් දෙකක් යනකන් ඔය නූල එහෙම ගලවනවා නෙවේ ඕන්"....
කට්ටඩියා එසේ කියමින් යන්නට ගියේ, තවත් දින දෙකකින් ආපසු පැමිණෙනවාය යන පොරොන්දුව මතය. නිවසේ අයද දින දෙක ගෙවෙන තුරු කට්ටඩියා කියූ ලෙසම කටයුතු කළෝය. නමුත් මේ දින දෙක තුළ සුනිමල් උග්‍ර ලෙස උණ රෝගයෙන් පෙළිනි.
දින දෙක ගෙවිණි. තොවිලය කරනා දිනය උදාවිය. පොරොන්දු වූ ලෙසම කට්ටඩියා පැමිණ, රැයක් පහන් වන තුරුම තොවිලයක් නැටූ අතර සුනිමල්ටත්, සුනිමල්ගේ පවුලේ අයටත් සෙත් ශාන්තියක් සිදු කළේය. තොවිලය අවසන් වනවාත් සමගම සුනිමල් පියවි සිහියට පැමිණි අතර උණ රෝගයද සුව වී තිබිණි.
මේ 1960ත් 1970ත් අතර කාලයේ දකුණු පළාතේ සිද්ධ වුණු ඇත්ත කතාවක්. ඒ කාලයේදී සුනිමල්ගේ වයස, අවුරුදු 12ක් විතර ඇති. මේ කතාවේ එන "නම්" සියල්ලක්ම මන:කල්පිත නම්. හැබැයි සිද්ධිය ඇත්ත. මේ සිද්ධිය වුණේ මගේ ලේ නෑයෙක්ට. මේ කතාවේ පොඩි මාමා කියන චරිතය කියපු විදිහට තමයි, ආදේශන නම් යොදා ගනිමින් මේ කතාව ලිව්වෙ.
මම කලින් ලියපු "භූත ගෙදර" කියන ලිපිය වගේම, මේ ලිපියේ තියෙන කතාවත් විශ්වාස කිරීම සහ අවිශ්වාස කිරීම, පිළිගැනීම සහ නොපිළි ගැනීම ඔබ සතුයි.