ලොකු අයියා
ගොඩක් කාලෙකට කලින් මම රස්සාව කරන තැන හිටපු අක්කා කෙනෙක් ගැන ලිපියක් ලිව්වා. ඒ, තමයි ඩොටේ අක්කා. ඒ ලිපියට ඒ කාලෙ ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඩොටේ අක්කව නම් ඊට පස්සෙ හමු වුණේම නෑ. එයා ආයිත් එයාගෙ ගම වුණු බදුල්ලටම ගියා කියලා පස්සෙ කාලෙක අපට ආරංචි වුණා.
අදත් අපේ ලෑස්තිය ඒ වගේම තවත් කෙනෙක් ගැන ලිපියක් ලියන්නයි. හැබැයි ඒ කලින් රස්සාව කරපු තැන නම් නෙවේ. එතනින් පස්සෙ මම අලුතෙන් සම්බන්ධ වුණු ආයතනයේ ඉන්න කෙනෙක් තමයි අද අපේ කථානායකයා වෙන්නෙ.
මෙයා ඉතින් නීල මහා යෝධයා වගේ හැදි දැඩි කෙනෙක්. ඒ නිසා අපි මෙයාව අපේ ලිපියෙදි "ලොකු අයියා" කියන අනුවර්ථ නාමයෙන් හදුන්වමු.
අදත් අපේ ලෑස්තිය ඒ වගේම තවත් කෙනෙක් ගැන ලිපියක් ලියන්නයි. හැබැයි ඒ කලින් රස්සාව කරපු තැන නම් නෙවේ. එතනින් පස්සෙ මම අලුතෙන් සම්බන්ධ වුණු ආයතනයේ ඉන්න කෙනෙක් තමයි අද අපේ කථානායකයා වෙන්නෙ.
මෙයා ඉතින් නීල මහා යෝධයා වගේ හැදි දැඩි කෙනෙක්. ඒ නිසා අපි මෙයාව අපේ ලිපියෙදි "ලොකු අයියා" කියන අනුවර්ථ නාමයෙන් හදුන්වමු.
ලොකු අයියාගේ අපි දකින හොඳම දේ තමයි එයා එයාගෙ වෘත්තියට ආදරය කරන එක. සමස්ථයක් ගත්තම ආයතනයට පළවෙනියට එන්නෙත්, ආයතනයෙන් අන්තිමට යන්නෙත් ලොකු අයියම තමයි. ඒ කියන්නෙ උදේ 5.00ට විතර ඇවිත් රෑ 8.00, 9.00 වෙනකන්ම වැඩ කරනවා.
දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් "අයිසේ ලොකු අයියට රස්සාව ඇරෙන්නෙ වෙන ජීවිතයක් නැද්ද?" කියලා. අපි හැමෝටම වගේ ලොකු අයියට රස්සාවෙන් තොර ජීවිතයකුත් ඇති. ඒත් ලොකු අයියා, ආයතනයේ එයාට පැවරිලා තියෙන කාර්යභාරයේ නියැලෙන්න හරිම ආසයි. ලොකු අයියා නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක්. එයාගෙ අත්දැකීම් කාලය මේ වෙනකොටත් අවුරුදු 10කට වඩා වැඩියි. නිර්මාණකරණය සහ ලොකු අයියා කියන්නෙ දෙකක් නෙවේ. එකක්. ඒ තරමටම ලොකු අයියා නිර්මාණකරණ වැඩවලට ආසයි. ඒ වගේම ආදරේ. ඒකට සුද්ධාගෙ භාශාවෙන් නම් කියන්නෙ Passion කියලා. ඉතින් නිර්මාණකරණය සම්බන්ධ වැඩකට අත ගැහුවම ලොකු අයියට කාලය යනවා දැනෙන්නෙ නෑ.
ලෝකයේ සමහර අය ඉන්නවා තමන්ගේ රස්සාව නිසා ජීවිතය විදවන අය. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ රස්සාව නිසා ජීවිතය විඳින අය. මේ දෙවෙනි කාණ්ඩයට අයිති වෙන්නෙ තමන් ආස කරන දේම, තමන්ගේ විනෝදාංශම, තමන්ගේ හැකියාවන්ම තමන්ගේ රස්සාව විදිහට කරන අයව. ඉතින් ලොකු අයියා කියන්නෙත් මේ දෙවෙනි කාණ්ඩයට අයිති වෙන කෙනෙක්.
මේ ගැන දවසක් ලොකු අයියා මට කියපු කතාවක් මතක් වෙනවා.
ජීවිතය තියෙන්නෙ විදවන්න නෙවේ. ජීවිතය තියෙන්නෙ විඳින්න. ජීවිතය විඳින්න ඕන නම් මුලින්ම තමන්ගේ ආසාව සහ දක්ෂතාවය හරියට අදුරගෙන ඉන්න ඕන. ගොඩක් අය ඉන්නවා එයාලා තමන්ගෙ රස්සාවට කැමති නෑ. ජීවත් වෙන්න සල්ලි ටිකක් හොයාගන්න ඕන නිසා තමයි රස්සාව කරන්නෙ. අකමැත්තෙන් රස්සාව කරන නිසා එයාලා බලන්නෙ ටිකක් පහුවෙලා ඇවිත් හරියටම වෙලාවටම ගෙදර යන්න. එහෙම වුණාම එයාගෙන් වෙන වැඩ ටික හරියට වෙන්නෙත් නෑ.
ඒ නිසා මුලින්ම තමන් ආස කරන දේ රස්සාවක් විදිහට තෝරගන්න ඕන. ආසාව, එහෙමත් නැත්නම් කැමැත්ත තමයි ඕනම වැඩක් සාර්ථක කරගන්න මුල් වෙන පළවෙනිම දේ. ආසාව හරහා පුලුවන් තමන්ට දක්ෂතාවය වර්ධනය කරගන්න. නැත්නම් ඒ දේවල් ඉගෙනගෙන ඉලක්ක වලට යන්න.
දැන් සමහර අය ඉන්නවා රස්සාවල් වලට Application දානකොට, එකම Job Role එකට ආයිත් ආයිත් දානවා. එක පාරක් දානවා. ඊට පස්සෙ ආයිත් ඒකටම දානවා. ටික කාලයක් ගිහින් ආයිත් ඒකටම දානවා. දානවා දානවා දානවා... දානවා විතරයි, හැබැයි කවදාවත් එයා රස්සාවට තේරෙන්නෙ නෑ.
එහෙනං එයා ආයිත් පොඩ්ඩක් ආපස්ස හැරිලා හිතලා බලන්න ඕන "ඇයි මම මෙච්චර ඉල්ලුම් කරලත් තාම එකක්වත් හරි ගියේ නැත්තෙ" කියලා. එහෙම හරියන්නෙ නෑ කියන්නෙ ඒ රස්සාව කරන්න එයාට තියෙන සුදුසුකම් අඩුයි. එහෙනං එයා කරන්න ඕන Application දාන එක නවත්තලා හරි, මුලින්ම ඒකට අදාළ සුදුසුකම් ටික හදාගෙන ඉන්න එක. එක්කො පාඨමාලාවක් හරි උපාධියක් හරි කරන්න පුලුවන්. නැත්නම් ඕන තරම් අවස්ථාව තියෙනවා Internet එකෙන්, ඕනම දෙයක් ගැන දැනුම නොමිළේ අරගන්න.
සමහර විට එයාගෙ දක්ෂතාවය තියෙන්නෙ ඒ දේට නෙවේ වෙන්න පුලුවන්. සමහර විට එයාගෙ දක්ෂතාවය තියෙන පැත්තකට එයා Application දැම්මොත්, එයා ගොඩක් වෙලාවට ඉහළින්ම තේරෙන්න පුලුවන්.
ඉතින් මම හැමතිස්සෙම කියන්නෙ මුලින්ම තමන්ට ගැළපෙනම දේ තෝරගෙන ඉන්න කියලා. එතකොට ජීවිතය වුණත් සමබරව තියාගෙන යන්න පුලුවන්. නිවාඩු දවසක වුණත් මොකක් හරි හදිසි වැඩක් ආවොත් "මේ මොන කරුමයක්ද?" කියලා කියන්නෙ නැතුව "ෂහ් නියම වැඩක් ඇවිත්" කියලා කරන්න හිතෙනවා තමන්ට තියෙන ආසාව නිසාම. ඒ වගේම අනවශ්‍ය පීඩනයක් එන්නෙත් නෑ. ආකල්පත් වෙනස් වෙනවා.
මෙහෙම උදාහරණයක් ගමු. පාර කොනේ හෙන තඩියට හිටවලා තියෙන Advertising Board එකකට දාන්න ඉන්න වෙළඳ දැන්වීමකට, නිර්මාණයක් කරන්න එනවා.
නිර්මාණකරණය කරන ඒත් ඒක ගැන Passion එක නැති කෙනෙක්ට ඔය වැඩේ ආවොත් මොකද වෙන්නෙ? "ආහ් Bill Board එකකට දාන එකක් නෙහ්. Bill Board එකක් ඇරෙන්න වෙන තැනක් තිබ්බෙ නැද්ද දන්නෙ නෑ මුන්ට මේක ගහන්න? දැන් ඉතින් මේකත් කරලා දියන්කො" කියලා කරලා දෙයි. ඊට පස්සෙ එතනින් එහාට ඕක ගැන හිතන්නෙවත්, හොයන්නෙ බලන්නෙවත් නෑ. එයා ඒ දේ කරන්නෙ, එයාට ඉහළින් ආපු නියෝගයක් නිසා. ඒක කරලා දුන්නෙ නැත්නම් එයාට සල්ලි හම්බවෙන්නෙ නැති නිසා.
හැබැයි Passion එකක් තියෙන කෙනෙක්ට ඔය වැඩේ හම්බුණා නම්? “අම්මට හුඩු Bill Board එකකට දාන්න නේද? සිරා වැඩක්. සුපිරියටම දෙමු.” කියලා, එයාගෙම අවශ්‍යතාවයක් විදිහට හිතාගෙන තමයි වැඩේ කරන්නෙ. සන්තෝසෙන් කරන නිසා වැඩේ හිතනවටත් වඩා හොඳට වෙනවා එතකොට. ඊට පස්සෙ එයාගෙ ඒ නිර්මාණෙ පාර කොනේ Bill Board එකේ තඩියට දාලා තියෙනකොට එයාට එන ආතල් එක, එහෙමත් නැත්නම් සතුට වචනයෙන් විස්තර කරන්න බෑ. එයා තව තවත් නිර්මාණකරණය ගැන අලුත් දේවල් ගැන හිතන්න, අලුත් දේවල් ගැන හොයන්න උනන්දු වෙනවා. “මගේ මහන්සියේ ප්‍රතිපල ”කියලා හැමෝටම සද්ධෙට කියන්න වුණත් පුලුවන්.
එයා ඒ දේ කරන්නෙ, එයාට ඉහළින් ආපු නියෝගයක් නිසාම නෙවේ. ඒක එයාගෙ ආසාව නිසා. ඒක කරලා දුන්නෙ නැත්නම් එයාට සල්ලි හම්බවෙන්නෙ නැති නිසා නෙවේ. එයාගෙ ආසාව සහ හැකියාවෙන් ඒක සාර්ථකව ඉවර කරපුවම එයාට ආත්ම තෘප්තියක් ලැබෙන නිසා. ඉතින් තමන් මොකක් හරි දේකට කොච්චර දක්ෂ වුණත්, ඒ දේට ආසාව නැත්නම්, තමන් කරන ඒ දෙයින් වැඩක් නෑ. ඒක අද කාලෙ ඉන්න සමහරක් තරුණ අයට තේරෙන්නෙම නැති දෙයක්.
ඉතින් මේ නිර්මාණකරණය ගැන ලොකු අයියට තියෙන උණ නිසාම, දවසක් මම ලොකු අයියාගෙන් ඇහුවා නිර්මාණකරණයට අඩිතාලම වැටුණේ කොහොමද කියලා. ඒකටත් ලොකු අයියා හැරෙන තැපෑලෙන් උත්තරයක් දුන්නා.
ඉස්සර ඉදන්ම මම චූටියට චූටියට මේ වගේ දේවල් කළා. ඒ කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම. මට මතකයි මම පළවෙනියටම කරපු නිර්මාණය. මම කළේ Microsoft Paint එකෙන් කොන් දෙකක මල් දෙකක් ඇන්දා. එක මලක බඹරු ගොඩක් ඇන්දා. අනිත් මලේ එක බඹරෙක් ඇන්දා. ඇදලා Appleලාගෙ තියෙනවා වගේ Think Different කියලා ලොකුවට ලිව්වා. ඒ කාලෙ ඉතින් අද වගේ Internet නෑ. නිකන් ඔළුවට ආපු අදහසක් නිසා මම ඉතින් ඕක හැදුවා. පස්සෙ මම ඕක මකලා දැම්මා.
ඊට පස්සෙ දවසක් බලනකොට අයියා ඒ මකපු පින්තූරෙ දැකලා, එයා ඒක Desktop Wallpaper එක විදිහට දාලා තිබ්බා. සෑහෙන කාලයක් යනකන් එයා ඒක අයින් කළෙත් නෑ. මට ඒක මකන්න දුන්නෙත් නෑ. ඉතින් එයා සමහරවිට ඒ පැත්තට මට දක්ෂතාවයක් තියෙනවා කියලා අදුරගන්න ඇති.
ඊට පස්සෙ ඉතින් මමම එක එක දේවල් හොයාගෙන, මේවා ඉගෙන ගන්න පටන් ගත්තා. අයියත් සෑහෙන උදව් කළා. ඊට පස්සෙ උසස් පෙළ ඉවර වෙලා ඉන්නකොට තමයි අයියා හරහා අහවලා කිව්වෙ "එනවද වැඩ කරන්න කියලා?". ඒ පාර මට එව්වා Web Templates වගයක්. ඒ ටික ඒ විදිහටම Artwork එකකට අරගන්න කිව්වා. මම ඉතින් එහෙම කරලා පෙන්නුවා. එයා වැඩේට කැමති වුණා. මාව අරගත්තා. එදා ඉදන් පටන් ගත්ත ගමන තමයි තාමත් මේ යන්නෙ.
ලොකු අයියා හැමතිස්සෙම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. එයාගෙ කණ් දෙකේ HeadPhone එක දකින්න නොලැබෙන අවස්ථා හරිම අඩුයි. කොයි වෙලාවෙ බැලුවත් සිංදුවක් අහගත්ත ගමන්මයි ඉන්නෙ. ඒ වගේම ආයතනයේ වැඩ කරන හැම කෙනෙක් එක්කම විහිළු තහළුවෙන් තමයි කාලය ගත කරන්නෙ.
ප්‍රශ්න කියන දේවල් හැමෝටම තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් නෑ මේ ලෝකෙ. හැමෝටම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තියෙනවා. සමහර අයට ප්‍රශ්න දෙක තුන එනවා. සමහර අයට ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ඉපදිලා මැරෙනකන්ම ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න...
හැබැයි ප්‍රශ්න තියෙනවා කියලා, ඒ ප්‍රශ්න මත්තෙම හිටියොත් කවදාවත් ජිවිතේ ඉස්සරහට අරගෙන යන්න වෙන්නෙ නෑ.
"ආහ් මට ප්‍රශ්නයක් තියෙනවා නෙහ්... අනේ මට වැඩ කරන්න බෑ මට ප්‍රශ්න.... මේ ප්‍රශ්නෙ ගැන ඇරෙන්න මට අනිත්වා ගැන හිතන්න බෑ..... මේ ප්‍රශ්නෙ ඉවර වුණාම අනිත් වැඩ ගැන බලන්න ඕන. මට ඉතින් ප්‍රශ්නනෙ...." ගාලා ඕකම හිත හිත ඉන්නවා.
ඉතින් ඔහොම දවසක් දෙකක් නෙවේ අවුරුද්දක් හිතුවත් වැඩක් තියෙනවද මම අහන්නෙ? එක්කො ඒ ප්රශ්නය අමතක කරලා තමන්ගෙ අනාගතය ගැන හිතන්න ඕන. එක්කො තමන්ට කොතනද වැරදුනේ කියලා බලලා එතන හදාගන්න ඕන. එක්කො ප්‍රශ්නෙන් ගොඩ එන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕන. එහෙම නොවුණොත් ජීවිතය එක තැන.
ඕකට හොදම උදාහරණෙ තමයි බාර් එක. මිනිස්සු සතුටට යන්නෙ බාර් එකට. ඒ වගේම දුකට යන්නෙත් බාර් එකට. මිනිස්සුන්ගෙ සතුට, දුකට හැරෙන්නෙත් බාර් එක නිසා. අපි හිතමු මිනිහෙක් ඉන්නවා, එයාට හදිස්සියෙම 10 000ක් ඕන වෙනවා. එයා ළග 5000ක් දැනටමත් තියෙනවා. එහෙනං එයාට මහන්සිවෙලා අමුතුවෙන්ම හොයාගන්න තියෙන්නෙ කීයක්ද? රුපියල් 5000ක්. ඌ මොකද කරන්නෙ හදිස්සියෙම 10 000ක් ඕන වෙලා ප්‍රශ්නෙ ආපු ගමන්ම, ප්‍රශ්නෙ අමතක කරලා දාන්න කියලා දුවන්නෙ බාර් එකට. ඊට පස්සෙ තමන්ගෙ ළග තියෙන 5000ම බාර් එකට පූජා කරලා හොඳට බොනවා. එතකොට බාර් එක ඇතුළට යද්දි ඌට අඩුගානෙ 5000ක් හරි තිබ්බා. එළියට එනකොට තිබ්බ 5000ත් නෑ....
දැන් ඌට තිබ්බ ප්‍රශ්නෙ, දෙගුණ වෙලා නැද්ද? යසට කොහෙන් හරි 5000ක් හොයා ගන්න පුලුවන්කම තිබිද්දි, ප්‍රශ්නෙ අමතක කරගන්න කියලා 5000කට හරියන්න බීලා, දැන් ඌට 10 000ක් අමුතුවෙන්ම හොයන්න වෙනවා. ඉතින් ගොඩක් ප්‍රශ්න වලට අපි ළගම උත්තර තියෙනවා. ප්‍රායෝගිකව ටිකක් හිතන්නෙ බලන්නෙ නැතුව, අනවශ්‍ය විදිහට කලබල වුණොත්, ලස්සනට විසදගන්න තියෙන එක, අන්තිමට කෙළවර වෙන්නෙ විනාසයක් කරගෙන. ඒ නිසා ප්‍රශ්නයක් වුණාම, කලබල වෙන්න හොඳ නෑ. ඒක ගැන ප්‍රායෝගිකව සහ නිදහස් මනසක් ඇතුව කල්පනා කළොත් සුදුසු උත්තරයක් හම්බවෙනවා.
ඕකට හොඳ බෞද්ධ කතාවකුත් තියෙනවා නෙහ්.
හාමුදුරුවරු දෙනමක් ගමනක් වඩිනකොට ගෑණු ළමයෙක් ගිලෙනවා දැක්කා. එක හාමුදුරු නමක් ටක් ගාලා සිවුර ගලවලා, ගගට පැනලා පීනුවා. පීනලා ගෑණු කෙනාවත් උස්සගෙන ආපහු ගොඩට ආවා. ගොඩට ඇවිත් ආයිත් සිවුර ඇදගෙන මේ හාමුදුරුවරු දෙනම ආයිත් ගමන පිටත් වුණා.
ගමන ආයිත් පිටත්වෙලත් සෑහෙන වෙලාවක් ගියාම අනිත් හාමුදුරුවො ඇහුවා "හිමි නමක් වුණාම ඔය විදිහට ගෑණු කෙනෙක්ව අතපත ගාලා, එයාව කරේ තියාගෙන එන්න අකැපයි නේද?" කියලා. එතකොට අනිත් හාමුදුරුවො කිව්වලු "මම නම් පීනලා ගොඩට ඇවිල්ලා දැන් හුගක් වෙලා. ඔබවහන්සේ නම් තාමත් ගගේ" කියලා.
ලොකු අයියාට ආදරය ගැනත් එක එක දේවල් හිතෙනවා. මේ වෙලාවෙ මතක් වෙනවා ලොකු අයියා ආදරය ගැන කියපු දෙයක්.
කෙල්ලො විවිධාකාරයි. එක එක කෙල්ලො හිතන පතන විදිහ, එක එක කෙල්ලොන්ට වඩා වෙනස්. ඇයි ඒ? හේතුව එයාලා එක එක සාමාජීය පරිසර වල ජීවත් වෙන නිසා. එක්කෙනෙක්ගෙ පවුල් පරිසරය, තව කෙනෙක්ගෙ පවුල් පරිසරයට වඩා හාත්පසින්ම වෙනස්. එතකොට ඒ ඒ කෙල්ල තමන්ගෙ ගෙදරින් තමන්ට නොලැබෙන ගොඩක් දේවල්, ආදරය කරන කොල්ලගෙන් බලාපොරොත්තු වෙනවා.
අපි හිතමු නිදහසට ආස කරන කෙල්ලෙක් ඉන්නවා. ඒත් එයාගෙ ගෙදරින් එයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ. එතකොට කොල්ලෙක් එක්ක පැටලුනම, එයා ඒ කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ නිදහස. ඒ කියන්නෙ එහෙ මෙහේ ඇවිදින්න යමු කියන සිතුවිල්ල.
අපි තව උදාහරණයක් ගමු. එක කෙල්ලෙක් ඉන්නවා, එයාට ගෙදරින් ආදරය ලැබෙන්නෙ නෑ. එහෙනං එයා තමන්ගෙ කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ සල්ලිවත් මොකුත් නෙවේ, ආදරය විතරයි. එතකොට......... ගෙදරින් සල්ලි දෙන්නෙ නැති කෙල්ලෙක් නම්? එයා එයාගෙ කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ සල්ලි විතරයි.
එතකොට බැරි වෙලාවත් කොල්ලටත් තියෙන්නෙ කෙල්ලගෙම අවශ්‍යතා සහ වුවමනා නම්....... උන් දෙන්නා කසාද බැන්ද දවසක පවුල් ජීවිතය සාර්ථකව ගෙනියන්න තියෙන සම්භාවිතාව වැඩියි. මොකද එක්කෙනෙක් දෙයක් කරනකොට, අනිත් කෙනාත් ඒ දේටම කැමති නිසා, ඒකට උදව් කරනවා මිසක් විරුද්ධ වෙන්නෙ නෑ. එතකොට පවුල් අවුල් වෙන එව්වා, රණ්ඩු සරුවල් වෙන එව්වා මග ඇරෙනවා.
ඔන්න ඔහොම තමයි ලොකු අයියා කියපු ලොකු ලොකු කතා ගැන මගේ තියෙන මතකයන්. මට ඉතින් අලුත් තැනට ඇවිල්ලා ලොකු අයියව ආශ්‍රය කරන්න ලැබුනෙ මාස එක හමාරක් වගේ කාලයක් තමයි. ඊට පස්සෙ මාව වෙන ශාඛාවකට මාරු කළා. තාමත් මම කලින් තැනම හිටියා නම් මේ ලිපිය මීට වඩා කිහිප ගුණයකින් විශාල වෙන්න තිබ්බා කියන එක තමයි මගේ අදහස.
ඉස්සරහට ලොකු අයියව මුණ ගැහුනොත් එයාගෙ ජීවන අත්දැකීම් ටිකත් මේ ලිපියෙම යාවත්කාලීන කරන්න තමයි අදහස. එහෙම වුණොත් ඔයාලට දිගටම මේ ලිපියත් එක්ක රැදිලා ඉන්න සිද්ධ වෙනවා.
ඒ වගේම මගේ අදහසක් තියෙනවා මගේ YouTube Channel එකේ මම කරන "දනා එක්ක" වැඩසටහනටත් ලොකු අයියාට ආරාධනා කරන්න. එහෙම වුණොත් ඔයාලටත් බලාගන්න පුලුවන් වෙයි කවුද මේ කියන ලොකු අයියා කියලා.