ගවේෂණ අංක 03
17. අනුරාධපුර අත්කොට ප්‍රතිමාව
අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව හැරුණු කොට තවත් ඒ වගේම ඉදි පිළිම විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ අතරින් එක ප්‍රතිමාවක් තමයි "අභයගිරි බෝධිඝර අංක 01" දකින්න පුලුවන් ඉදි පිළිමය. ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සහ 8 වෙනි සියවස් අතර නිර්මාණය වුණු මේ ප්‍රතිමාවේ දෙඅත් දකින්න නැති නිසා, ප්‍රදේශයේ මේ ප්‍රතිමාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ "අත් කොට පිළිමය" කියලයි. ඒ වගේම මේ ප්‍රතිමාව "සමාධි පිළිම අංක 2" විදිහටත් හදුන්වනවා. ඒ සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමාවේ ලක්ෂණ වලට නෑකම් කියන නිසයි. බැලූ බැල්මට එහෙම පෙනුනත්, මේ ප්‍රතිමා දෙක අතර විශාල වෙනස්කම් තියෙනවා. මේ ප්‍රතිමාව විතර්ක මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමාවක්. ඩොලමයිට් පාෂාණයෙන් නෙලන ලද මේ ප්‍රතිමාවේ උස ආසන්න වශයෙන් අඩි 6යි අගල් 9ක් වෙනවා.
අභයගිරිය ස්තූපයට ඇතුල් වෙන පිවිසුම පහු කරගෙන, ටික දුරක් ඉදිරියට යන කොට, පාරේ වම් පසින් මේ ප්‍රතිමාව අපිට දැක ගන්න පුලුවන්. ඉස්සර මේ ප්‍රතිමාවේ නේත්‍රා වලට මැණික් ගල් ඔබ්බවලා තිබිලා තියෙනවා. බෝධිඝරයක් ඉදිරිපිට නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවට වම් පසින් කැඩී ගියපු කුඩා ප්‍රමාණයේ ඉදි ප්‍රතිමාවක් දකින්න පුලුවන්. ඒ වගේම මේ ප්‍රතිමාව අවට පරික්ෂා කරන කොට ඉපැරණි ගොඩනැගිලිවල අත්තිවාරම් කොටස් සහ ගල් කණු දකින්න පුලුවන්.
18. අභයගිරි දාන ශාලාව
අත්කොට ප්‍රතිමාව (අභයගිරි බෝධිඝර අංක 1) පහු කරලා ටික දුරක් යන කොට, දකුණු පැත්තට බර වෙන්න විශාල වංගුවක් හමු වෙනවා. වංගුවත් එක්කම පාරෙ වම් අත පැත්තෙන් අපිට අභයගිරියේ "ප්‍රධාන" දාන ශාලාව දකින්න පුලුවන්. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ ඉදලා, අධියර 4ක් යටතේ මේ ගොඩනැගිල්ල විටින් විට ප්‍රතිසංස්කරණය සහ ප්‍රති-නිර්මාණය වෙලා තියෙනවා. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා 5000ටම දානය පිළියෙල කරලා තියෙන්නෙ මේ දාන ශාලාවෙන්.
දාන ශාලාවේ ගල් ඔරු 2ක් දකින්න පුලුවන්. දිගින් වැඩිම ගල් ඔරුව මීටර් 19කටත් වැඩියි. මේ ගල් ඔරුවේ පාත්‍ර ධාරිතාව, පාත්‍ර 5000ක් ඉක්මවනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද..????? ඊට අමතරව සූර්ය හෝරා චක්‍ර, මුළුතැන්ගෙවල්, ගබඩා කාමර වගේම ශාලාවට ජලය සපයපු භූගත ජල මාර්ග පද්ධති එහෙමත් දැක බලා ගන්න පුලුවන්.
19. අභයගිරි බෝධිඝර අංක 3
අභයගිරි දාන ශාලාවට දකුණු පසින් තියෙන මේ පූජනීය ස්ථානය බලන්න ටිකක් ඇතුළට ඇවිදගෙන යන්න ඕනි. මහ පාරට දිස් වෙන්නෙ නැති නිසා මේ ස්ථානය, අනිත් ස්ථාන වලට සාපේක්ෂව වැඩි අවධානයක් දිනා ගන්න සමත් වෙලා නෑ. චීන ජාතික පාහියං හිමියන්ගේ වාර්තා අනුව මේ තමයි අභයගිරි විහාරයේ නිර්මාණය වුණු "පැරණිතම" බෝධිඝරය. මේ ස්ථානයේ රෝපණය කරලා තිබුණු බෝධීන් වහන්සේ, දඹදිව ශ්‍රී මහා බෝධියෙන් රැගෙන ආපු බීජයකින් රෝපණය වුණු බෝධියක්.
මේ ස්ථානයෙත් ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙන්නෙ කාල වකවානු 4ක් යටතෙයි. මේ ස්ථානයේ දැක බලා ගන්න තියෙන ප්‍රධානතම අංගය තමයි තරමක් උස් වූ වජ්රාසනයක් මත නිර්මාණය කරලා තියෙන ඉදි බුද්ධ ප්‍රතිමාව. සමාධි පිළිම අංක 3 කියලත් හදුන්වන, සමාධි ඉරියව්වෙන් වැඩ ඉන්න මේ ප්‍රතිමාවේ දකුණු අත නම් අද දකින්න නෑ.
චීවරයේ රේඛා රහිත මේ බුද්ධ ප්‍රතිමාව වටේට සිංහල රජ දවස තවත් ප්‍රතිමා ගණනාවක් තිබුණාය කියලා හිතන්න පුලුවන් නටබුන් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. මේ නටබුන් අතර සිරි පතුල් ගල් 20කට ආසන්න ප්‍රමාණයක් දකින්න පුලුවන්.
මේ ස්ථානයට පිවිසෙන්න තියෙන්නෙ අලංකාර කැටයම් දාපු ඉපැරණි මණ්ඩපයක් යටින් (බාරෝස් මණ්ඩපය). මේ මණ්ඩපයට ඉස්සරහින් 4 වන මහින්ද සහ 5 වන කාශ්‍යප යන රජවරු පිහිටවපු සෙල්ලිපි දෙකක් දකින්න පුලුවන්. මේ සෙල්ලිපිවල ඒ ඒ කාල වකවානුවල අභයගිරි විහාරයට පූජා කරන ලද දේවල් සහ විහාර සීමාව තුළ ගොඩ නැගුණු නීති රීති පද්ධතීන් ගැන අන්තර්ගත වෙලා තියෙනවා.
20. අනුරාධපුර ඇත් පොකුණ
අනුරාධපුරයේ අභයගිරි විහාර භූමි සීමාවට අයිති ඇත් පොකුණ, ලංකාරාමය ස්තූපයට වම් පසින් තියෙන කුඩා අතුරු පාර දිගේ ඇවිදගෙන යන කොට දකින්න පුලුවන්. නටබුන් ගොඩක් මධ්‍යයේ තියෙන මේ අරුම පුදුම නිර්මාණය, අභයගිරි විහාරයේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා සදහා නිර්මාණය වුණු පොකුණක්.
පොකුණක් කිව්වට මේක විශාල තටාකයක්. දිගින් අඩි 500ක් සහ පළලින් අඩි 150ක් වෙන මේ පොකුණේ ගැඹුර අඩි 30ක් වෙනවා. ජාත්‍යාන්තර මට්ටමේ ඔලිම්පික් පිහිණුම් තටාක 6ක ප්‍රමාණයෙන් යුක්ත වෙන මේ පොකුණට ජලය සැපයෙන්නෙ බසවක්කුලම වැවෙන්. ඒ භූගත උමං මාර්ග හරහයි.
21. අවුකන නාග භහිරව දේවාලය
අවුකන බුද්ධ ප්‍රතිමාව වන්දනාමාන කරන්න, අවුකන විහාරයට ඇතුල් වී, ප්‍රතිමාව දිහාවට යන කොට දකුණු පැත්තෙන් මේ දේවාලය දකින්න පුලුවන්. විශාල ගලක් මත පිහිටලා තියෙන නිසා විහාරයට යන එන ජනතාවගේ අවධානයට ලක් නොවෙන මේ දේවාලය, අවුකන ප්‍රතිමාව තරමටම ඉපැරණි දේවාලයක්. කළු ගලින් නෙලන ලද මේ නාග බහිරව දේවාලය වසර 1600කටත් වඩා පරණයි. ධාතුසේන රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙලා තියෙන මේ දේවාලයට, නිර්මාණ දායකත්වය සපයලා තියෙන්නෙ "භරණ" කියලා ගල් වඩුවෙක්. අදටත් මේ දේවාලයේ ධාතුසේන රජ දවස, කළු ගලින් නිර්මාණය වුණු දේව රූපයක් දැක ගන්න පුලුවන්.
22. පංකුලිය අශෝකාරාමය
අනුරාධපුරයේ පංකුලිය අශෝකාරාමය ගැන බොහෝ දෙනෙක් අහලා තිබුණට, මේ විහාරය බලන්න කවුරුත් නොයන්නෙ, විහාරයට පිවිසෙන්න තියෙන මාර්ගය දුෂ්කර නිසයි. ඒ වගේම ජන ශූන්‍ය කලාපයක පිහිටලා තියෙන නිසයි. ථූපාරාම චෛත්‍යය ළග තියෙන කුඩා හංදියෙන් ගල් පාලම දිහාවට යන කොට, අතරමගදි අශෝකාරාමය ගැන නාම පුවරුවක් හම්බ වෙනවා. එතනින් දකුණට හැරිලා ටිකක් දුෂ්කර ගුරු පාරක් දිගේ, විශාල වනාන්තරයක් මැද්දේ කිලෝ මීටර් කිහිපයක් යන්න ඕන. මේ පාර කෙලවර වෙන්නෙ විශාල වෙල් යායක් ළගින්. වෙල් යායෙ නියර දිගේ එගොඩට ඇවිදගෙන ගියාම අශෝකාරාමයට පිවිසෙන්න පුලුවන්.
මේ ආරාමයේ නටබුන් අතරින් වීරාසන ඉරියව්වෙන් වැඩ ඉන්න "අශෝකාරාමය බුද්ධ ප්‍රතිමාව" විශේෂ ස්ථානයක් ගන්නවා. මේ ප්‍රතිමාවේ දෙඅත් නිර්මාණය කරලා තියෙන්නෙ විශේෂ විදිහකටයි. ඒ නිසා මේ වගේ තවත් බුද්ධ ප්‍රතිමාවක් ලංකාවේ වෙනත් ස්ථානයකින් අපිට දකින්න ලැබෙන්නෙ නෑ. ඉතිහාසඥයන්ගේ මතය අනුව මේ ප්‍රතිමාවෙන් මුද්‍රා දෙකක් නිරූපණය වෙනවා. ඒ තමයි විතර්ක සහ කටක මුද්‍රාවන්. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් වෙන මේ ප්‍රතිමාවේ උස අඩි 6යි අගල් 6ක් වෙනවා. මේ ප්‍රතිමාවට අමතරව තවත් ප්‍රතිමා තිබුණු බවට, ප්‍රතිමාවට වම් පසින් තියෙන කැඩී ගිය කුඩා බුද්ධ ප්‍රතිමාවෙන් තහවුරු වෙනවා.
ඒ වගේම මේ ප්‍රතිමා වලට ඉදිරියෙන් හතරැස් වේදිකාවක් මත නිර්මාණය කරපු ස්තූපයක අත්තිවාරමක් දකින්නත් පුලුවන්. ස්තූපය වටේට වටදාගෙයක් තිබුණු බවට, ස්තූපය වටේ තියෙන නෙළුම් මල් හැඩැති කුඩා කුළුණු කොටස් සාක්ෂි සපයනවා. ඒ වගේම සලපතල මළුවේ ඉදන් පොළොවට ජලය බැස යන විදිහට කාණු පද්ධතියකුත් සකස් කරලා තියෙනවා. ඊට අමතරව මේ ප්‍රදේශය වටේට ඉපැරණි ගොඩනැගිලි රාශියක අත්තිවාරම් කොටස් සහ නටබුන් දකින්න පුලුවන්. මේ ගොඩනැගිලිවල කොරවක්ගල්, සදකඩ පහන්, ගල් කණු, මුරගල් සියල්ලක්ම අදටත් සුරක්ෂිතව තිබීම වාසනාවට කරුණක්.
මේ විහාරයේ සදකඩ පහණ් එක්තරා ආකාරයකට විශේෂත්වයක් ගන්නවා. මේ සදකඩ පහණ්වල කැටයම් කරලා තියෙන්නෙ සත්ව වර්ග දෙකක් විතරයි. ඒ තමයි ඇතා සහ අශ්වයා. ඇතෙක්, අශ්වයෙක්, ඇතෙක් ආදී වශයෙන් මාරුවෙන් මාරුවට මේ සතුන්ව කැටයම් කරලා තිබුණත්, සදකඩ පහණේ මැද කොටසේ විතරක් එක ළග සිටින ඇතුන් දෙදෙනෙක්ව දකින්න පුලුවන්.
23. aa
a
24. දැදිගම කොට වෙහෙර
දැදිගම කොට වෙහෙරින් හමු වුණු ආසියාවෙන් මෙතෙක් සොයා ගත් ඉපැරණිතම රෙදි කැබැල්ල නිසා පහු ගිය අවුරුදු කිහිපයේ මේ පූජා භූමිය ගැන ගොඩක් අයගේ අවධානය යොමු වුණා. ඒ වගේම කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන ඇතෙක් සහිත පහනත් සොයා ගැනුනෙ කොට වෙහෙරෙන්මයි. ඒත් මේ විහාරය බලන්න ගිහින් තියෙන්නෙ කීයෙන් කී දෙනාද...????? ඒ නිසා "ගවේෂණ" ලිපි මාලාවේ 3 වන කොටසේ, අවසාන සිද්ධස්ථානය විදිහට කොට වෙහෙර ගැන විස්තර කිහිපයක් කියන්න හිතුනා.
කොට වෙහෙර චෛත්‍යයේ නිවැරදි නාමය තමයි "දැදිගම සූතිඝර සෑය". බුබුලාකාර චෛත්‍යයක් වෙන සූතිඝර සෑය නිර්මාණය වෙන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වයෙන්. ජනප්රවාදයේ හැටියට මහා පරාක්‍රමබාහු රජතුමාගේ උත්පත්තිය සිද්ධ වෙන්නෙ මේ භූමිය මත. ක්‍රිස්තු වර්ෂ 1153 වුණු ඒ සිදුවීම සිහි කිරීමට තමයි රජතුමා මේ චෛත්‍යය නිර්මාණය කරන්නෙ. සූතිඝර කියන වචනය සූතිකාඝාරය කියන වචනයෙන් පැන නැගුනු එකක්.
|
|
ප්‍රදේශවාසීන් කියන විදිහට මේ ස්තූපය රුවන්වැලි මහා සෑයට නොදෙවෙනි විදිහට නිර්මාණය කරන්න සැලසුම් කරලා තිබුණලු. ඒත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පස්සෙ චෛත්‍යයේ වැඩ කටයුතු අතරමග නතර වුණාලු. ඒ නිසා මේ ස්තූපයට "කොට වෙහෙර" කියන නම පට බැදුනලු. ඒ නිසා මේ ස්තූපය පේෂා වළලු කිහිපයකින් යුක්ත, කොත් කැරැල්ලක් සහ සතරැස්/දේවතා කොටුවක් නැති, අර්ධ ධාතු ගර්භයකට සීමා වුණු ස්තූපයක් බවට පත් වෙලා තියෙනවා.
කොළඹ නුවර පාරේ, අබේපුස්ස නගරය පහු කරලා යන කොට හම්බ වෙන නෙලුම්දෙනිය හංදියෙන් දකුණට හැරිලා, කිලෝ මීටර් 5ක් ඉදිරියට යන කොට, වෙල් යායකට ඉදිරි පසින් මේ ස්තූපය දකින්න පුලුවන්.
කොළඹ නුවර පාරේ, අබේපුස්ස නගරය පහු කරලා යන කොට හම්බ වෙන නෙලුම්දෙනිය හංදියෙන් දකුණට හැරිලා, කිලෝ මීටර් 5ක් ඉදිරියට යන කොට, වෙල් යායකට ඉදිරි පසින් මේ ස්තූපය දකින්න පුලුවන්.
මේ ස්තූපය ඉදිරිපසින් කුඩා ගොඩනැගිල්ලක අත්තිවාරම් සහ නටබුන් කොටස් හම්බ වෙනවා. මේ ගොඩනැගිල්ල ස්තූපයේ ගොඩනැගීම් කටයුතු වෙනුවෙන්, "ගඩොල් පෝරණුවක්" විදිහට භාවිතා වුණාය කියලා පුරාවිද්‍යාඥයන් විසින් හදුනාගෙන තියෙනවා.