ගවේෂණ අංක 11
81. මයුර පිරිවෙන
මහා විහාරයට අයිති වුණු මේ පිරිවෙන නිර්මාණය කරලා තියෙන්නෙ බුද්ධදාස රජ්ජුරුවො. මේ පිරිවෙන පිහිටලා තියෙන්නෙ ශ්‍රී මහා බෝධියට නිරිත දෙසින්. ඒ කියන්නෙ ශ්‍රී මහා බෝධියේ බටහිර දොරටුව ආසන්නයේ. මහා වංශයේ තියෙන විදිහට පිරිවෙනේ නඩත්තුවට, රජ්ජුරුවො ගම්වර හිටං පූජා කරලා තියෙනවලු. පස්සෙ කාලෙක මේක ධාතුසේන සහ මහානාග රජවරුන් විසිනුත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
මෙතන අද වෙනකොට නම් ඉතුරුවෙලා තියෙන්නෙ ගොඩනැගිලි තුනක නටබුන් විතරයි. ප්‍රධාන ගොඩනැගිල්ලේ ලස්සන කැටයම් තියෙන කුළුණු ගොඩක් ඉතුරුවෙලා තියෙනවා. ඒ වගේම කොරවක්ගල්, පඩිපෙල්, සදකඩ පහණ් කිහිපයකුත් තියෙනවා. 2011 අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු කැණීම්වලින් පෙති උළු, ගොඩල්, වළං කටු, ඇණ සහ පබළු හොයාගෙන තියෙනවා.
82. ජේතවනාරාම පොහොයගෙය
කලින් ලිපියේ අපි සදහන් කරපු ජේතවනාරාමයේ පොකුණ පිටිපස්සට වෙන්න තමයි, ජේතවනාරාම විහාරයේ පොහොයගෙය නිර්මාණය කරලා තියෙන්නෙ. මේකට "දියසෙන් පාය" කියලත් කියනවා. මෙතන ගල් කණු 176ක් තියෙනවා. මේක 5 වන මිහිදු රජ්ජුරුවො කරවපු එකක් කියලා, අභයගිරි විහාරයේ සෙල් ලිපියකින් තහවුරු කරගෙන තියෙනවා. ශ්‍රී මහා බෝධිය ළග තියෙන ලෝවමහාපාය වගේම, මේකත් ගල් කණු උඩ තට්ටු කිහිපයකට හදපු ගොඩනැගිල්ලක්. පහළ කොටසෙ උපසම්පදා කටයුතුවලට භාවිතා වුණු බවටත්, උඩ කොටස් නේවාසිකාගාර විදිහට තිබුණු බවටත් මත පලවෙලා තියෙනවා. පුරාවිද්‍යා සොයා ගැනීම් අනුව නම් අභයගිරි විහාරයේ පොහොයගෙයට සමාන සැලසුමකට අනුව තමයි මේක හදලා තියෙන්නෙ.
83. ජේතවනාරාම ධර්ම ශාලාව
ජේතවනාරාම විහාරයේ ධර්ම දේශනාමය කටයුතු වෙනුවෙන් භාවිතා කරලා තියෙන මේ ශාලාවේ, හරි මැද ලස්සන කැටයම් තියෙන උස් ආසනයක් දකින්න පුලුවන්. ආසනය වටේට තියෙන හිල්වලින් පැහැදිලි වෙනවා, ආසනය උඩ වියනක් හයි කරලා තිබුණා කියලා. පිහිටි පොළොවෙ ඉදලා ටිකක් උසට හදලා තියෙන මේ ශාලාවේ දිශා හතරෙන්ම පිවිසුම් දොරටු තිබිලා තියෙනවා. සිලාකාල රාජ්‍ය සමයේ (ක්‍රි.ව 522-535) අවුරුද්දකට සැරයක්, ඇතුළු නුවර ඉදලා ජේතවනාරාම විහාරයට ගෙනාපු ධර්ම ග්රන්ථයක් තැන්පත් කරන්න මේ ශාලාව නිර්මාණය කළා කියලත් මතයක් තියෙනවා.
84. ජේතවනාරාම ජන්තාගාරය
මේ රෝගාතුර වුණු භික්ෂූන් වහන්සේලාගේ ශරීරයේ ඖෂධ වර්ග, මැටි වගේ ඒවා ගාලා, උණු වතුරෙන් සහ හුමාලයෙන් ස්නානය කරවපු ස්ථානයක්. මේ වගේ ස්ථානයකට කියන්නෙ "ජන්තාඝරයක්" කියලයි. මේ ස්ථානයේ පොළොව පුරාවටම ගල් පුවරු අතුරලා, අපිරිසිදු වතුර බහින්න කාණුවක් හදලා, බිත්ති ගඩොල්වලින් බැදලා, ඒ උඩින් වහලක් හදලා, අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා කරගන්න කවුළු සහ දොරවල් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. විශාල හිල්, ඖෂධ බදුන් රදවන්න භාවිතා කරලා තියෙනවා. මේක අනුරාධපුර යුගයේ දෙවන භාගයට අයිති නිර්මාණයක් කියලා තමයි හදුනාගෙන තියෙන්නෙ.
85. ජේතවනාරාම නැගෙනහිර සීමා ප්‍රාකාරය
මේ තමයි අනුරාධපුර ජේතවනාරාම විහාර සංකීර්ණයේ නැගෙනහිර සීමා ප්‍රාකාරය. ජේතවනාරාම ආරාම සංකීර්ණයේ නැගෙනහිර සීමාව, මල්වතු ඔය වෙනකංම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. ඒත් මේ ප්‍රාකාරය සහ මල්වතු ඔය අතරේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා ඉතිහාසඥ මතයක් පල කරනවා, මේ විදිහට පරතරයක් හිටින විදිහට නිර්මාණය කරලා තියෙන්නෙ, මල්වතු ඔයේ ගමන් මාර්ගයේ වෙනසක් වුණු නිසා වෙන්න ඇති කියලා.
86. ජේතවනාරාම පොකුණ - අංක 02
ජේතවනාරාම නැගෙනහිර සීමා ප්‍රාකාරය ළග තමයි මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නෙ. මේ පොකුණට එහායින් තියෙන්නෙ ජේතවනාරාම දාන ශාලාව. ඒ නිසා මේක දාන ශාලාවේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය කරපු පොකුණක් කියන එක තමයි දැනට පවතින මතය. පොකුණේ හැඩය සෘජුකෝණාශ්‍රාකාර ස්වරූපයක් ගන්නවා.
87. ජේතවනාරාම සන්නිපත ශාලාව
"සභා ශාලාව" කියලත් හදුන්වන මේ ශාලාව භාවිතා කරලා තියෙන්නෙ, ජේතවනාරාම විහාරයේ භික්ෂූන් වහන්සේලාගේ රැස්වීම් කටයුතු පවත්වන්න. මේ ශාලාවේ හතර පැත්තෙන්ම ඇතුල්වීමේ දොරටු තිබිලා තියෙනවා. ඒ වගේම දිගු ආසනවලිනුත් යුක්ත වෙලා තියෙනවා. මේ සමචතුරස්‍රාකාර ශාලාව පිහිටලා තියෙන්නෙ, විහාර සංකීර්ණයේ බොහොම විවෘත ස්ථානයක. ඒකෙන් නිගමනයකට එළඹෙන්න පුලුවන්, ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පිවිසෙන්න පුලුවන්වෙන විදිහට සැලසුම නිර්මාණය කරන්න ඇති කියලා. මේ ස්ථානයේ හැම දොරටුවක් දෙපැත්තෙම අලංකාර කැටයම් සහිත කුළුණු තිබුණු බවට සාක්ෂි සාධක තියෙනවා. ගොඩක් කැටයම් අදටත් හොදින් ආරක්ෂා වෙලා තියෙනවා.
88. ජේතවනාරාම පිළිමගෙය අංක 02
ජේතවනාරාම විහාර සංකීර්ණයේ නැගෙනහිර දිශාවට වෙන්න පිහිටලා තියෙන මේ පිළිමගෙය තමයි, ජේතවනාරාම විහාර සංකීර්ණයේ තියෙන පිළිමගෙවල් අතරින් පැරණිතම පිළිමගෙය. මේ ස්ථානයේදී ප්‍රධාන පිළිමගෙය දෙපැත්තෙන් පරිවාර පිළිමගෙවල් දෙකක නටබුන් දැක ගන්න පුලුවන්. මේ පිළිමගෙවල් දෙක නම් පස්සෙ කාලෙක නිර්මාණ කරපු ගොඩනැගිලි. පොළොවෙ යටට කරපු කැණීම්වලදි, ඊටත් කලින් යුගවලට අයිති ඉදිකිරීම්වල සාධක හොයාගෙන තියෙනවා. ඒ නිසා මෙතන කාලෙන් කාලෙට, එක එක වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් නිර්මාණය වුණු බවට හොයාගෙන තියෙනවා. අද වෙනකොට නම් ලදු කැළෑවකින් වටවෙලා තියෙන මේ ස්ථානයේ ගොඩනැගිලිවල අත්තිවාරම්, ගල් කණු, ප්‍රතිමා තැන්පත් කරපු ආසන කිහිපයක්ම විසිරිලා පැතිරිලා තියෙනවා.
මේ පිළිමගෙය තමයි ජේතවනාරාම විහාර සංකීර්ණයේ පොළෝ මට්ටමේ ඉදලා, වැඩිම උසකින් ඔසවලා තියෙන ගොඩනැගිල්ල. මේ ස්ථානය වටේට විශාල ප්රාකාරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ප්‍රාකාරය ඇතුළට පස් පුරවලා තමයි, මේ ස්ථානය පොළෝ මට්ටමෙන් ඔසවලා තියෙන්නෙ.