ගවේෂණ අංක 10
73. ඉසින්බැස්සගල රජමහා විහාරය
මේ ස්ථානය පිහිටලා තියෙන්නෙ අනුරාධපුරයේ, මැදවච්චියේ (A9 මාර්ගයේ), අඩි 530ක් විතර උස ගල් තලාවක් උඩ. අතීතයේ මේ ස්ථානය "ඉසිපතනාරාමය" විදිහටත්, "ඉසින්බැස්සගල" විදිහටත් හදුන්වලා තියෙනවා. අතීතයේ මේ ස්ථානයේ භාවනා කටයුතු කරන්න සුදුසු ස්ථානයක් විදිහට හදුන ගත්තු ඉන්දියාවේ සෘෂිවරු සහ මහරහතුන් මේ ස්ථානයට සෘද්ධියෙන් වැඩම කරලා, මේ ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යන කාල වකවානුව තෙක්ම භාවනා කටයුතු කරලා තියෙනවා. මේ ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යන කාලයේදී මේ සෘෂීන් සහ මහරහතුන් නැවතත් ඉන්දියාවට යනවා. ආයිත් මේ ස්ථානය සිසිල් වෙන කාල වකවානුවලදී භාවනා කටයුතු කරන්න වැඩම කරනවා. මේ ස්ථානය ඉසිපතනාරාමය කියලා හදුන්වලා තියෙන්නේ, සෘෂීන් පතිත වන ස්ථානය කියන අර්ථයෙන්. ඉසින්බැස්සගල කියලා හදුන්වලා තියෙන්නේ සෘෂීන් බැස්ස ගල කියන අර්ථයෙන්.
මහින්ද මහ රහතන් වහන්සේ අපේ රටට සෘද්ධියෙන් වැඩම කරලා, උන්වහන්සේගේ පාද ස්පර්ශය ලබපු ප්‍රථම ස්ථානය තමයි ඉසින්බැස්සගල කියන්නේ. එතනදී උන්වහන්සේ භාවනායෝගීව වැඩ හිටපු සෘෂීන් සහ මහ රහතන් වහන්සේලා සමග කථා බහ කළා කියලත් ජනප්‍රවාදවල දැක්වෙනවා. ඊට පස්සෙ තමයි උන්වහන්සේ මිහින්තලා කදු මුදුනට වැඩම කරන්නෙ. ඉසින්බැස්සගල කියන්නේ මිහින්තලා කදු මුදුන තරමටම වටිනා කියන ස්ථානයක්. ඉන්දියාවේ ඉසිපතනාරාමයට සාපේක්ෂව ලංකාවේ ඇති එකම ස්ථානය විදිහට හදුන්වන මේ පුදබිමේ විහාරයක් නිර්මාණය කරන්න පියවර ගන්නේ දේවානම්පියතිස්ස රජතුමා. විහාරය නිර්මාණයට පසුවත් මේ ස්ථානයේ මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව කියවෙනවා.
වැඩි විස්තර මෙතනින් -
http://danulawickramaarachchi.weebly.com/------34653523353835083501350535353515353535123514-3523354835143535.html
වැඩි විස්තර මෙතනින් -
http://danulawickramaarachchi.weebly.com/------34653523353835083501350535353515353535123514-3523354835143535.html
74. ජේතවනාරාම පොකුණ
අනුරාධපුර ජේතවනාරාම ස්තූපය පිටුපසට වෙන්න (ජේතවනාරාම කෞතුකාගාරය ඉදිරිපසින්), ජේතවනාරාම විහාර සංකීර්ණයේ පොකුණ දැක ගන්න පුලුවන්. ගල් පුවරු භාවිතයෙන් චතුරස්රාකාර හැඩයට නිර්මාණය කරලා තියෙන මේ පොකුණ, ආගමික වතාවත් වෙනුවෙන් ජලය ලබා ගන්න භාවිතා කරලා තියෙනවා. කැණීම්වලින් ලක්ෂ්මි දෙවගනගේ ලෝකඩ පිළිමයක් සහ ජලාශ්‍රිතව ජීවත්වන සත්තුන්ගේ ලෝකඩ රූප සහිත ශෛලමය මංජුසාවක් හොයාගෙන තියෙනවා.
75. ජේතවන ධර්ම මණ්ඩපය
ජේතවනාරාම ස්තූපය අසල ඇති ජේතවනාරාම ආවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටලා තියෙන මෙම ශෛලමය මණ්ඩපය, ජේතවනාරාම විහාරයේ "ධර්ම සංගනී ගෘහය" විදිහට හදුනාගෙන තියෙනවා. මෙය පෙර රජ දවස වෘත්තාකාර වියනකින් සමන්විත වූ බවට, මණ්ඩපය වටා ඇති ගල් කණු සාක්ෂි දරනවා ඇති.
76. ජේතවනාරාම පිළිමගෙය
ජේතවනාරාම ස්තූපයට ඇතුළුවෙන ප්‍රධාන පිවිසුමට, ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙන පිවිසුම පහු කරලා ටික දුරක් ඉස්සරහට යනකොට, දකුණු දිශාවෙන් මේ ස්ථානය හමු වෙනවා. මේ තමයි ජේතවනාරාම විහාර සංකීර්ණයේ බුදු මැදුර. 9 වෙනි සියවසට හෝ ඊට පෙර කාලයට අයත් නිර්මාණයක් විදිහට සැළකෙන මේ ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්රදාය අනුව (ගෝලාකාර වහලක් සහිත) ඉදි කරන ලද්දක්. බුදු මැදුරේ විශාල පද්මාසනයක් තියෙනවා. ඒ අනුව ශෛලමය හිටි පිළිමයක්, මේ පද්මාසනය මත තැන්පත් කරලා තිබුණා කියලා කියන්න පුලුවන්.
අදටත් මේ ගොඩනැගිල්ලේ ජනේල සහ ජනේල රාමු සුරක්ෂිතව තියෙනවා. බුදු මැදුර වටා ප්රදක්ෂිණා පථයකුත් දැක ගන්න පුලුවන්. ඉතිහාසඥයන්ගේ මතය අනුව මේ පිළිමගෙය ගින්නකින් විනාශ වෙලා තියෙනවා. මේ පිළිමගෙයට ඇතුළුවන ස්ථානයේ තියෙන ද්වාරය අඩි 27ක් උසයි. අද ඉතුරුවෙලා තියෙන්නේ දොරටුව දෙපස තිබුණු ශෛලමය කණු ද්විත්වය විතරයි. ඒ අනුව ඉතිහාසඥයන් මතයක් එළි දක්වනවා, අතීතයේ මේ ද්වාරය අඩි 27ක් තරම් උසට නිර්මාණය කරන්න ඇත්තේ, ජේතවනාරාම විහාරයෙන් පෙරහැරක් පවත්වපු නිසා කියලා. කරඩුව මේ බුදු මැදුරේ තැන්පත් කරලා තියෙන්න ඇති කියලත්, කරඩුව පෙරහැරේ ගෙනියන්න අවශ්‍ය නිසා ඇතාව බුදු මැදුර ඇතුළට ගන්න ඇති කියලත් ඉතිහාසඥයන් ඒ මතය දීර්ඝව විස්තර කරනවා. මේ ගොඩනැගිල්ල ඉස්සරහත් කුඩා ප්‍රමාණයේ ගොඩනැගිලි දෙකක ශේෂ කොටස් තියෙනවා. මේ ගොඩනැගිලි, පරිවාර පිළිමගෙවල් විදිහට හදුනාගෙන තියෙනවා.
77. ජේතවනාරාම කැසිකිළිය
ජේතවනාරාම විහාර සංකීර්ණයේ කැසිකිළිය පිහිටලා තියෙන්නේ, ජේතවනාරාම ස්තූපය ඉදිරිපස තියෙන, ජේතවනාරාම ආරාම සංකීර්ණය කෙළවරට වෙන්න. මේ කැසිකිළියට එකතු වෙන මුත්‍රා, පරිසරයට හානියක් නොවන විදිහට බැහැර කරන්න පැරැන්නෝ සමත් වෙලා තියෙනවා. මුත්‍රා ගලේ සිදුරට යටින් අගුරු, හුණු, අළු, වැලි වගේ ද්‍රව්‍ය පුරවපු, පතුල සිදුරු කරපු මුට්ටි කිහිපයක් එක යට එක තියලා තියෙනවා. ඒ නිසා ඒවා හරහා ගමන් කරන මුත්‍රා පිරිසිදු වෙලා අවසානයේ නැවතත් පොළවට එකතු වෙලා, උරා ගන්නවා.
78. ජේතවනාරාම ළිං
ජේතවනාරාම විහාර සංකීර්ණයේ, ආවාස සංකීර්ණය ඇතුළත සහ කැසිකිලි ඉදිරිපස දකින්න තියෙන මේ ළිං, නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් සහ ගල්වලින්. විශාල ප්‍රමාණයේ ළිංවල, පතුලට බහින්න හදපු පාෂාණමය පියගැට පෙළක් දැක ගන්න පුලුවන්. විශාල ප්‍රමාණයේ ළිං වෘත්තාකාර හැඩයක් ගන්නා අතරේ, කුඩා ප්‍රමාණයේ ළිං සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නවා. මේවා ජේතවනාරාම බෝධිඝර සදහා ජලය ලබා ගන්න නිර්මාණය කරන්න ඇති කියලා තමයි ඉතිහාසඥයන්ගේ මතය. දෙවන අග්ගබෝධි රජතුමාත් ජේතවනාරාමයේ බෝධිඝරවල පූජාමය අවශ්‍යතා සදහා ළිදක් හැදුවා කියලා මහා වංශයේ සදහන් වෙනවා. ඒ ළිද "යතුරක් හැඩයට" තියෙන විශාල වෘත්තාකාර ළිද වෙන්න පුලුවන් කියලා, ඉතිහාසඥයන් අනුමාන කරනවා.
79. ගරාදි වැට සහිත ජේතවනාරාම ගොඩනැගිල්ල
"බෞද්ධ ගල් ගරාදි වැට සහිත ගොඩනැගිල්ල" කියලා හදුන්වන මේ ශෛලමය නිර්මාණය ඉදි කරපු කාලය සහ අරමුණ තාමත් හොයාගෙන නෑ. ජේතවනාරාම විහාර සංකීර්ණයේ, ආරාම සංකීර්ණය ඉදිරියේ දකින්න තියෙන මේ ස්ථානයේ සතර දිශාවෙන් දොරටු සහිතව නිර්මාණය කරපු චතුරස්රාකාර ගොඩනැගිල්ලකුත්, ඒ ගොඩනැගිල්ල වටා නිර්මාණය කරපු ශෛලමය වැටකුත් දැක ගන්න පුලුවන්. දිගින්, පළලින් සහ උසින් මීටර 43 x 34 x 1.6ක් වෙන මේ වැටේ, සිරස් සහ තිරස් ගල් පුවරුවල සංකලනයක් දැක ගන්න පුලුවන්.
මේ ශෛලමය වැට ඇතුළතින් ප්රතිමාවල පාදම්, ශෛලමය ආසන, ප්‍රතිමා කොටස් සහ ගන්ධාර සම්ප්රදායේ ඉදිකිරීම් සාධක ආදීය හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ ස්ථානය ප්රතිමාඝරයක් විදිහට හදුනාගෙන තියෙනවා. වේදිකාවකින් වට වුණු ප්‍රදේශය බෝධිඝරයක් විදිහට හදුනාගෙන තියෙනවා. ඒ වගේම මේ ස්ථානය දෙවෙනි අග්බෝ රාජ්‍ය සමයේ (ක්‍රි.ව 608 - 618) හරි දෙවෙනි දප්පුල රාජ්‍ය සමයේ හරි (ක්‍රි.ව 815 - 831) නිර්මාණය කරන්න ඇති කියලා ඉතිහාසඥයින් සැක කරනවා. මහාවංශයේ මේ රජවරු විසින් ජේතවනාරාම විහාරයේ බෝධිඝරයක් සහ ප්රතිමාඝරයක් කළ බවට සදහන්වීම ඊට හේතුවයි.
80. ජේතවනාරාම ආවාස සංකීර්ණය
ජේතවනාරාම විහාරයේ පිළිමගෙයට වම්පසින්, ජේතවනාරාම ආවාස සංකීර්ණය දැක ගන්න පුලුවන්. මේ ආවාස සංකීර්ණය මැද ප්‍රධාන ගොඩනැගිල්ලකුත්, ඒ ගොඩනැගිල්ලට සතර දිශාවෙන් තවත් කුඩා ගොඩනැගිලි හතරකුත් තියෙනවා. මේ ගොඩනැගිලි පහ වට කරපු දොරටුවක් සහිත ප්‍රාකාරය, අදටත් ඉතුරුවෙලා තියෙනවා. මේ තමයි මහා විහාරයක ආවාස සංකීර්ණයේ ආකෘතිය.